ශ්‍රී ලංකාව

(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය)

පිහිටීම

ශ්‍රී ලංකාව ආසියානු මහාද්වීපයේ දකුණු ආසියානු කලාපයේ ඉන්දියන් සාගරයෙන් වටව පිහිටි පුංචි දුපතක්.  නිරපේක්ෂ වශයෙන් පිහිටීම ගත්තොත් උතුරු අක්ෂාංශ 5ත්  10ත් අතර සහ නැගෙනහිර දේශාංශ 79ත් 82ත් අතර ස්ථානගත වෙලා තියෙනවා. දිවයිනේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610 km2 වන අතර ඉන් වර්ග කිලෝමීටර 870 km2 – 980 km2 අතර ප්‍රමාණයක් ජලයෙන් පිරී පවතිනවා. ඒ වගේම ලංකාව 1,340 km ක් පමන දිගු සහ ආකර්ශනීය වෙරල තිරයකට හිමිකම් කියනවා.

විශේෂතා

ලංකාවේ මුහුදු මට්ටමේ සිට උසින් වැඩිම ස්ථානය වන පිදුරුතලාගල කඳු මුදුන මීටර 2,524 m ක් තරම් වනවා. එමෙන්ම ශ්‍රී ලංකාව ගංගාවන් 103 කට ජීවය සපයනවා. මහවැලි නදිය දිගින් වැඩිම ගංගාව වන අතර නුවරඑලිය හෝටන් තැන්න ප්‍රදේශයෙන් ආරම්භ වී ත්‍රිකුණාමල වෙරලින් සාගරය හා එක්වන තුරු කිලෝමීටර 335 km  ක් පමණ දිගින් යුතුව රට තුලින් ගලා යනවා. තවද ජාතික වන උද්‍යාන 22 ක් මේ පුංචි දිවයින තුල පිහිටා තිබෙනවා. ශ්‍රී ලංකාව තුල සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 oC සිට 16 oC අතර අගයක ව්‍යාප්තව පවතින අතර සාමාන්‍ය වර්ෂයක් තුල වැසි වැටීම මිලි මීටර 500 mm – 900 mm අතර අගයක්

ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිලිබඳ ගවේෂණයේදී එය මීට වසර 35000 ක් තරම් දුරින් පශ්චාත් ප්‍රාග් ඓතිහාසික වකවානුවේ බලන්ගොඩ මානවයා ජීවත්ව සිටි කාලය දක්වා විහිද යනවා. නමුත් ක්‍රි.පූ 6 වන සහ ක්‍රි.පූ 5 සියවස අතර ඉන්දියාවේ සිට විජය නම් කුමරෙකු සහ පිරිවර 700ක පිරිසක් තම්බපන්නි නම් ප්‍රදේශයට ගොඩබට බවත් ඒ වන විටත් දියුණු ස්වදේශික ජනතාවක් මෙහි වාසය කල බවත් මහාවංසය විසින් ලිඛිත සාධක දක්වනවා. ඉන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම රජු ලෙස පණ්ඩුකාභයත් ප්‍රථම රාජධානිය ලෙස අනුරාධපුරයත් ක්‍රි.පූ 4 වන සියවස තුල බිහිව තිබෙන අතර ඉන් පසු ක්‍රි.ව 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ අවසාන රජු ලෙස මහනුවර රාජධානිය සිට පාලනය කිරීම දක්වා පිලිවෙලින් පොලොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ සහ මහනුවර ලෙස රටතුල ප්‍රධාන රාජධානි ව්‍යාප්ත වී තිබෙනවා.

ආර්ථිකය

2017 වර්ෂය වන විට ජනගහනය මිලියන 21.4 කට ආසන්න වන අතර ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනය ඇ.ඩො  4,067 ක අගයක් වාර්තා වෙනවා. ඒ වගේම මුළු දල ජාතික නිෂ්පාදනය ඇ.ඩො. බිලියන 87.2 කට ආසන්න අගයක පැවතුන අතර ආර්ථික වර්ධන වේගය 3.1% ක් ලෙස සඳහන් වුවා. උද්දමන අනුපාතය 7.2 % ක්.  2017 වර්ෂය අවසානයේ මුළු අපනයන වල වටිනාකම ඇ.ඩො. බිලියන 11.4 වන විට මුළු ආනයන වටිනාකම ඇ.ඩො. බිලියන 21 ලෙස වාර්තා වනවා.