Blogs / Travels

ජීවයේ හදවත බඳු කන්නෙලිය

කන්නෙලිය වන රක්ෂිතය පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ගාල්ල නගරයේ සිට 40 km පමණ ඊසාන දෙසින්.  ඒ වගේම මෙය අයත් වන්නේ KDN හෙවත් කන්නෙලිය-දැදියගල-නාකියාදෙණිය යන වනාන්තර පද්ධතියට  වන අතර එම වනාන්තර තුන අතරින් විශාලතම වනාන්තරය ලෙස සලකන්න පුළුවන් . මෙම කන්නෙලිය වැසි වනාන්තරය  ශ්‍රී ලංකාවේ දක්ෂිණ ප්රදේශයේ පිහිටි ගිං සහ නිල්වලා ගං සදහා වන පෝෂක ප්රදේශයක් ලෙස නම් කරන්නත් පුළුවන්.

 එමෙන්ම මේ කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය වන පද්දතිය සමාන්තර කඳු පන්ති කිහිපයකින් යුක්ත වනවා. කන්නෙලිය රක්ෂිතය මුහුදු මට්ටමේ සිට 60 m සිට උසින් වැඩිම කඳු මුදුන මීටර 425ක් තරම් ඉහලට විහිදෙන අතර මෙහි වර්ග ප්‍රමාණය දල වශයෙන් හෙක්ටයාර 5,300 ක් පමණ වන බව සැලකෙනවා.

තවද කන්නෙලිය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලෝකයේ ඇති ජෛව විවිධත්වයෙන් ඉහලම ස්ථාන අතරින් එකක් ලෙස හඳුන්වන්න පුළුවන් වගේම කන්නෙලිය තුල ඇති ජෛව විවිධත්වය ලෝක උරුමයක් ලෙස සලකනසිංහරාජවැසි වනාන්තරයටත් වඩා ඉහල බව හැඳින්වෙනවා. මේ හේතුන් නිසාම 2004 වර්ෂයේදී එය ජෛවගෝල රක්ෂිතයක් ලෙස යුනෙස්කෝ විසින් නම් කර තිබෙනවා.

කන්නෙලිය යනු සුන්දර දසුන් රාශියකින් පිරි ස්ථානයක්. අතරින් විශේෂතම සහ සුන්දරම ස්ථාන කිහිපයක් කාගේත් අවධානයට ලක් වෙනවා. අනගිමල ඇල්ල සහ නාරන්ගස් ඇල්ල ලෙස වනාන්තරය තුල ප්‍රධාන දියඇලි දෙකක් දක්නට ලැබෙන අතර වනාන්තරයේ සංචාරය කාරන කාගේත් සිත් දිනාගත් සුන්දර ස්ථාන දෙකක්. තවද යෝධ නවද වෘක්ෂයක් සහ අසාමාන්‍ය ඇඹරුමක් සහිතව පිහිටි සුවිසල් වැල් වර්ගයක් වනය තුල සංචාරය කිරීමේදී දැක බලාගන්න පුළුවන්.

ශාක හා සත්ව ප්‍රජාව

කන්නෙලිය වන රක්ෂිතය ආවේණික ශාක හා සත්ව විශේෂ ගණනාවකින් සමන්විත වෙනවා. මෙම වනාන්තර ප්රදේශයට සීමා වූ පහතරට ආවේණික ශාක විශේෂවලින් 17% ක් සහ ජීවී ආවේණික ශාක විශේෂ 41 ක් පමණ වාර්තා වෙලා තියෙනවා. KDN වන රක්ෂිතයේ වාර්තා වී ඇති දැවමය ශාක වර්ග 319 අතුරින් ශාක වර්ග 168 ක් පමණ ලංකාවට ආවේණික ශාක ලෙස හඳුනාගෙන තිබෙනවා.

කන්නෙලිය ශ්රී ලංකාවේ පහත්බිම් වැසි වනාන්තරවල දක්නට ලැබෙන වෘක්ෂලතා ආදියෙන් බහුල වන අතර හොර, නා වැනි ශාක එයට අයත් වෙනවා. යටිරෝපනය දුර්ලබ පැළෑටි වලින් සහ වන මල් වර්ගයන්ගෙන්  ආවරණයව පවතිනවා.

මෙම වනාන්තරය ඖෂධීය ශාක සහ දුර්ලභ ශාක විශාල ප්රමාණයකට ජීවය සපයන අතර වෙනිවැල්ගැට(Concinium fenestratum), කොතල හිඹුටු (Salacia reticulata), බහුලව දැක ගන්න පුළුවන්. එමෙන්ම කන්නෙලිය තුළ ඇති ශාක විශේෂවලින් සියයට 27% ක් අවදානමට ලක්ව ඇති ශාක වන අතර,  සියයට 45% දුර්ලභ ශාක කාණ්ඩ ලෙස හඳුනාගෙන තියෙනවා.

සත්ව ප්‍රජාව ගැන සැලකීමේදී කන්නෙලිය සත්ව විශේෂ 220 කට අධික සංඛ්යාවකට වාසස්ථාන සපයනවා. ඒ තුලට  ක්ෂීරපායීන් විශේෂ 86 ක්, සර්පයන් 36 ක්, කුරුල්ලන් සහ මත්ස්ය විශේෂ කීපයක් ඇතුලත්.

මෙහි පක්ෂි විශේෂ ගත් විට විශේෂ 26 ක් ලංකාවට ආවේනික වන අතර ඉන් විශේෂ 20 ක් KDN වනාන්තර සංකීර්ණය තුළදී  පමණක් දැකිය හැකි වෙනවා. ශ්‍රී ලංකා වලි කුකුළා, හබන් කුකුළා, ශ්‍රී ලංකා අළු කෑ දැත්තා, වත රතු මල් කොහා වැනි පක්ෂීන් කන්නෙලිය තුල බහුලව දැකගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්ගෙන් 20% ක් පමණ, සර්ප විශේෂ 17 ක් සහ කටුසු විශේෂ 23 ක් කන්නෙලිය වාසභූමිය කරගෙන සිටිනවා.

කන්නෙලිය සංචාරය 

දෙසැම්බර් සහ පෙබරවාරි මාස කන්නේලියේ සංචාරයට වඩාත් සුදුසු කාල වන්නේ වර්ෂාව හොදින් ලැබෙන කාල නිසාවෙනි. එම කාලවලට දොළවල් ජලයෙන් පිරී පවතින නිසා සුන්දර දසුන් නැරඹීමට අවස්ථාව හිමි වන අතරම ස්වාභාවික ස්නානයක්ද ලබාගන්න පුළුවන්. සංචාරකයන් වැඩි වශයෙන් මෙහි පැමිණෙනුයේ පා ගමන් සදහා වන අතර සදහා සුදුසු කාලය වනුයේ මාර්තු සහ අප්රේල් මාසයි. මන්ද එම කාලයේ වර්ෂාව අඩු හෙයිනි. වනජීවි  දෙපාර්තමේන්තුවේ මඟ පෙන්නවන්නන් පා ගමන් සදහා මඟ පෙන්වීමට බල සිටිනවා.

කන්නෙලියට ලඟා විය හැකි ආකාර

  • කොරලගම පනාගල, ගාල්ල-උඩුගම-නැළිවල පාරේ පිහිටි වන විද්‍යා දෙපාර්තමේන්තුව හරහා කන්නෙලියට ප්‍රවේශ විය හැක.
  • පොදු ප්‍රවාහන සේවාවන් ගාල්ල- තවලම, ගාල්ල -නෙළුව හෝ ගාල්ල- හිනිදුම බස් රථවලින් පැමිණ කන්නේලියෙන් බැස මිනිත්තු 15ක් පමණ ඇවිද ගිය පසු වන පිවිසුමට ලඟා වෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *