Blogs / Travels

ශ්‍රී ලංකාව තුළ පරිසරය ආරක්ෂා කිරීමේ නීතිය

අද වන විට පවතින සංවර්ධන ව්‍යාපෘතින් සහ මානව ක්‍රියාකාරීත්වය හේතුවෙන් සමස්ථ ලෝකයටම පාරිසරික ගැටලු රැසක් උද්ගතව පවතිනවා. උදාහරණ වශයෙන් ගෝලීය උණුසුම ඉහල යාම, පාරිසරික සෘතු අසාමාන්‍ය ලෙස වෙනස් වීම, සාගර ජල මට්ටම ඉහල යාම ඉන් කිහිපයක් ලෙස දක්වන්න පුළුවන්

මෙලෙස ගෝලීය වශයෙන් සිදු වී ඇති බලපෑම ශ්‍රී ලංකාව තුලටද බලපා තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ විශාල සංවර්ධන ව්‍යාපෘතීන් ප්‍රමාණයක් සිදු වෙමින් පවතින අතර එම සංවර්ධනයන් හේතුවෙන් පාරිසරික වශයෙන් හානියක් සිදුවන බවට විශාල වශයෙන් මිනිසුන් සහ ඇතැම් සංවිධාන හඬ නඟා තිබෙනවා.

එම හේතුවෙන් පරිසරය ආරක්ෂා කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව විසින් 1980 අංක 47 දරණ පාරිසරික ආරක්ෂණ පනත හඳුන්වා දුන්නා. තවද එම පනත 1988 අංක 56 සහ 2000 අංක 53 ලෙස සංශෝධනයට ලක් කර තිබෙනවා.

මෙම පනතේ ප්‍රධානතම  සුවිශේෂිත්වය වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීම යි. පාරිසරිකව බලපාන සියලුම කටයුතු මෙම අධිකාරිය හරහා ක්‍රියාත්මක වෙනවා. තවද පනතේ 7(1) වගන්තිය යටතේ පාරිසරික කවුන්සිලයක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම මෙහි 04 වන පරිච්ජේදය අනුව පාරිසරික කළමනාකරණය සම්බන්ධයෙන් සහ ඒ අනුව භූමිය භාවිතා කිරීමේ සීමාවන් පෙන්වා දී තිබෙනවා.

මෙහි වෙන්වෙන්ව 17 වන වගන්තියේ සිට 22 වන වගන්තිය දක්වා ස්වාභාවික සම්පත්, සාගරය, වනජීවින්, වනාන්තර සහ පස භාවිතය සම්භන්ධයෙන් සිමාවන් දකවා තිබෙනවා. මෙම පනත උල්ලංඝනය කරන්නාවූ පුද්ගලයෙක්ටම එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පැවරිය හැකි බව සහ ඒ අනුව මහේස්ත්‍රාත්වරයාට වසර දෙකකට නොවැඩි සිර දඬුවම් සහ රුපියල් 1500 කට නොවැඩි දඩ මුදල් නියම කල හැකි බවට පනතේ 31 වන වගන්තිය මගින් බලය පවරා තිබෙනවා.

මෙම පනතේ තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස පාරිසරික ආරක්ෂණ බලපත්‍රය හඳුන්වාදීම දක්වන්න පුළුවන්. එමෙන්ම පාරිසරික තත්වය රැකගැනීම මෙම පනත යටතේ විශේෂයෙන් සිදුකරනවා. ඒ අනුව කිසියම් පරිසරය හා සමගාමි සංවර්ධන කටයුත්තකදී මෙම බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය වන අතර යම් ලෙසකින් බලපත්‍රය තුල කොන්දේසි කඩකලහොත් එම බලපත්‍රය ඕනැම විටෙක අහෝසි කිරීමේ හැකියාව තිබෙනවා වගේම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පැවරීම සහ දඩ නියම කිරීමේ හැකියාවද පවතිනවා.

ඒ අනුව පරිසරය ආරක්ෂා කිරීමේ රාමුවක් ලෙස මෙම පාරිසරික පනත ක්‍රියාත්මක වන අතර මෙම නීතිය තවදුරටත් වර්ධනය කල යුතු වෙනවා.

Sachini Dassanayake

Leave a Reply

Your email address will not be published. Required fields are marked *